හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා


“ හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා ...“ ( නව සංස්කරණ ) කොන්ගස්තැන්නේ ආනන්ද ස්ථිවිර විසින් ලියන ලද පොතෙන් උපුටා ගැනීමකි .

උපත හා මහණකම

  දැනට ජීවතුන් අතර සිටින එහෙමත් කෙනෙකු හැර වෙන කිසිවෙකු නොදන්නා ප්‍රව‍ෘත්ති රාශියක් මා දන්නා නිසා ඒවා ලියා තැබිය යුත්තේය යන අදහස මා තුළ ද පැවතිණි. ඒ අතර මේ  ප්‍රවෘත්ති මගෙන් ම ඇසූ බොහෝ  දෙනෙකු ඒවා නොපමාව ම ලියා තබන ලෙස කළ ඉල්ලීම නිසා ඒ පුවත් ලියා තබන්නට පෑන අතට ගත් මට මගේ අතීත ජීවිතයේ සිදු වූ ඇතැම් සිද්ධීන් මතකයටනැගෙන්නට විය.ඒ අනුව මම මගේ උපත හා මහණ කමට යොමු වීමේ පටන් පුවත් පළමු කොට ලියා පසුව අනිත් කරුණු සටහන් කරන්නට සිතා ගතිමි. එය මම මගේ උපතින් මේ සටහන් පොත පටන් ගනිමි.

මා උපන්නේ ක්‍රි:ව: 1909 දෙසැම්බර් මස 18 වෙනි දාය.පැවිදි වූයේ 1919 ජනවාරි මස 16 වෙනි ගුරු දින දීය. ඒ වන විට මගේ වයස අවුරුදු 9 යි මාස 1 ක් පමණ විය.එවකට මා පාසලේ පස් වන පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියෙමි. මා පළමුවෙන් ම ඉගෙන ගත්තේ හේන්පිටගෙදර අපේ ගෙදර වත්තේ ම පියා විසින් අප උපදින්නට ද පථමු ආරමිභ කර පරම විඥනාර්‍ථ සංගමයට පවරා දී එ මගින් පාලනය වුණු මගේ මෑණීයන්ගේ ප්‍රධානාචාර්‍ය්‍යත්වය ඇති ගැහැණු පාසලෙහිය. පසුව මම ගමේ ම පිහිටි පිරිමි පාසලෙහි ඉගෙනීම ලැබුවෙමි.

බුද්ධගජ්ජයේ පටන් වෘත්තමාලාව තෙක් ශ්ලෝක පොත් මා කියවූයේ හේන්පිටගෙදර පිහිටි සකලසුන්දරාරාම විහාරස්ථානයේ එකල වැඩ සිටි මාතලේ සිරි සද්ධාවිමල මහා ස්ථිවිර ස්වාමිපාදයන් වහන්සේ වෙතය. පුදුම මිහිරි කටහඩක් ඇති උන්වහන්සේ මට ශ්ලෝක කියවන විට එහි නාදය සැතපුම් කාලක් පමණ දුර ඇසෙන්නට ඇතැයි සිතේ. මා ඒ ශ්ලෝක පොත් කියවූයේ පිරිමි පාසල ඇරී ගෙදර පැමිණි පසු විහාරස්ථානයට ගොසිණි.

සකලසුන්දරාරාම විහාරස්තානය ආරම්භ වූ හැටි මට මතකය. අපේ පියා ඇතුළු පිරිමි සහෝදරයන් තිදෙනෙක් හා ගැහැණු සහෝදරියක් ද පිය පරපුරේ වූහ. ගිරිගෝරිස් පෙරේරා සකලසූරිය  ( හේන්පිටගෙදර ඤාණතිලක හිමියන්ගේ පියා ) , බස්තියන් පෙරේරා සකලසූරිය ( මගේ පියා ) , කොර්නේලිස් පෙරේරා සකලසූරිය ( හේන්පිටගෙදර ඤණාවාස හිමියන් ගේ  පියා ) , ජොහානා පෙරේරා සකලසූරිය ( මගේ නැන්දා ) යනු ඒ සතර දෙනාය.

මා ඉතා කුඩා කාලයේ පියා හා මව් ඇතුළු උදවිය ගියේ දූනගහ පුෂ්පාරාම විහාරස්ථානයටය. අපි ඒ පන්සලට කීවේ “ ගලඋඩ පන්සල “ කියාය. එහෙත් එකල බලගල්ලේ සරස්වතී පිරිවෙන ආරම්භ කළ , මගේ ආචාර්‍ය්‍යපාදයන් වහන්සේ  වූ අපවත් වී වදාළ අතිගරු ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය අග්ගමහාපණ්ඩිත හිස්සැල්ලේ ශ්‍රී ඤණෝදය මහානායක මාහිමිපාණක් වහන්සේ ගේ ආචාර්‍ය්‍යපාදයන්  වහන්සේ වූද , අතිගරු මුඩගමුවේ සිරිසුගත සාසනාලංකාර සිරිනිවාසභ මාහිමිපාණන් වහන්සේ අපේ පියා ඉතාම සුහදව ඇසුරු කළහ. උන්වහන්සේ මසකට වරක් ඒ ප්‍රෙද්ශයේ චාරිකාවේ යෙදෙන අතර , අපේ නිවසට ද පැමිණීම අමකන නො කළ සේක. අවුරුදු තුන හතර වයස් කාලයේ පටන් ම දැක පුරුදු උන් වහන්සේ කෙරෙහි මා තුළ පුදුම භක්තියක් ඇති විය. මගේ දෙවැනි පිය කෙනෙක් හැටියට උන්වහන්සේ සලකන්නට තරම් ආතා කෙනෙක් වැනි උන්වහන්සේ ගැන මහත් ආදරයක් මා තුළ අති වී තිබිණි. උන්වහන්සේ අප නිවසට වැඩි හැම දිනක ම තාත්තා සාදා පිළිගන්වන දොඩම් ඇඔුල් ගිලන්පස කෝප්පයෙන් ටිකක් අඩු කෝප්පයකට වත්කර , මා ඔඩොක්කුවට ළං කර ගෙන ඒ ටික උන්වහන්සේ අතින් ම පෙවීම සිරිතක් කොට ගෙන තිබුණේය.අද මට උන් වහන්සේතුළ පැවැති ඒ කාරුණික හැගීම් සිහි වන විට ඇසට කදුළු පිරෙයි. මට මහණවීමේ ආසාව ඇති කළේ ද  උන්වහන්සේය. එය මම මගේ පියාට කී වාර කොතෙක් ද යනු මට මතක නැත. අම්මාට ද මම මේ බව එපරිද්දෙන් ම කීවෙමි. මගේ ඒ උපාධ්‍යායයන් වහන්සේ ගෙදරට වැඩි ඇතැම් දිනවල උන්වහන්සේ  ගැටවටු ගැන්වූ සිවුරට මා මුවාකර “ඔීං ඉතින් සිවුර පෙරෙව්වා “ කියමින් කවට කම්ද කළ වාර මට මතකය. 

දූනගහ විහාරස්ථානය හේන්පිටගෙදරට දුර වැඩි නිසා “ දිනපතා බුදුන් වදින්නට යා හැකි පරිදි විහාරස්ථානයක් ගමේ ම සෑදිය යුතුය “ යන අදහස අපේ මහප්පා හා බාප්පා සමග අපේ පියා කියනු කීපවරක් මම අසා සිටියෙමි. දවසක් අපේ පියා හේන්පිටගෙදර සහ හපුවලාන යන එක ළග පිහිටි ගම් දෙකේ වැඩිහිටි අය කීපදෙනෙක්ම රැස් කළ බව මට මතකය. එකල ඒ ගම්දෙකේ ගම්මුලාදෑනි පදවිය දැරුවේ අපේ පියාය. ඒ නිසා ඒ ගම් දෙකේ හැම දෙනෙක් ම අපේ පියා ගරු තන්හිලා  සැලකූ බව මම දනිමි. එදා ඒ පිරිස රැස් කලේ  හපුවලානේ ඉඩමක් නියම කර ගෙන විහාරස්ථානයක් ද ගොඩනැගීම පිණිස මූලික දායකවරු 10 දෙනෙක්  නියම කර ගැනීමටය. ඒ අනුව මහප්පාද , බාප්පාද , තාත්තා ද ඇතුළු හේන්පිටගෙදර හපුවලාන ගම් දෙකේ 10 දෙනෙක් තොරා ගෙන පන්සල සෑදීමට තීන්දු කර ගත්තේය. ඔය කාලයේ පළමු වන මහා යුද්ධය පැවැති බව මට සහි කළ හැකිය. පන්සල සාදා සියලු අංග සම්පූර්ණ කර  ( චෛත්‍යයක් හැර ) දවසක් මහප්පාට හා බාප්පාට අපේ පියා මෙසේ කීවේය.  

පන්සල සමග දරුවන් පූජා කිරීම

 “පන්සල පූජා කරන දවසට අපේ පවුල් තුනේ දරුවන් තුන් දෙනෙක් පූජා කළ යුතුය. පන්සල පූජා කරන්නේ මුඩගමුවේ සිරිනිවාස ස්වාමින්වහන්සේටය. මොකද ? උඔල දෙන්න කියන්න“.

මහප්පා එකග විය. අපේ බාප්පා වූ කොර්නේලිස් පෙරේරා  මහතාට එකල සිටියේ වැඩිමහල් පිරිමි දරුවෙක් හා ගැහැණු දරුවන් කිහිපදෙනෙකි. එහෙත් මාස කහිපයකට පෙර ලැබුණු පිරිමි දරුවෙක් ද සිටියේය. අපේ පවුල් තුනේ හැම ළමයකුගේ ම කේන්දරය සෑදුවේ  ද අපේ පියාය. අපේ පියා හා එකල සිටි කෙහෙල් ඇල්ලේ සේනානායක පවුලට අයත් නොතාරිස් රාළහාමි කෙනෙක් ද ජ්‍යොතිශ්ශාස්ත්‍රය ගැන මුළු පළාතේ ම ප්‍රසිද්ධියක් දැරූහ.  අපේ බාප්පා මෙසේ කීවේ ය.

“ අයියෙ , මට පිරිමි දරුවො අඩුයිනේ“

අයි මේ පසුගිය දා ලැබුණු ළමයා ? ඒ ළමයගෙ කේන්දරය මහණකමට හරියටම හරි. ඒ ළමය පූජා කරපන්. තවත් ළමයි ලැබෙයි.“

බාප්පා සතුටු විය. පන්සල පූජා  කළ දවස මට මතකය. එය 1917 දෙසැම්බර් 5 වෙනි දාය. එදා මුඩගමුවේ සිරිනිවාසාසභ ලොකු ස්වාමින් වහන්සේ හා හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදය මහිමිපාණන්  වහන්සේ ද ප්‍රධාන කොට ඇති මහා සංඝයා වහන්සේ වැඩ සිටියහ. එදා බාප්පාගේ සුරතල් පුතා ගේ අතත් , මගේ සහ අපේ මහප්පා ගේ පුතාගේ අතත් එකතු කර , අපේ පියවරුන් තිදෙනා විසින් අල්ලා ගත් පැන් කෙණ්ඩිය අපේ සිරිනිවාසාසභ  ලොකු ස්වාමීන් වහන්සේ ගේ අත හා සම්බන්ධ වී පැවැති අපේ අත් තුන මත ජලය වැගිරීමෙන් අපි පූජා කරනු ලැබමු. එදින නිකුත් කළ නිවේදන පත්‍රය පහත දැක්වේ. ........... එදින සාසනයට පුදනු ලැබූ අපි තිදෙන පසුව පහත සදහන් නම් වලින් හදුන්වනු ලැබීමු.

1   ( අපවත් වී වදාළ ) පණ්ඩිත , හේන්පිටගෙදර ඤාණතිලක ස්ථිවිරපාදයන් වහන්සේ ,

2  පණ්ඩිත , හේන්පිටගෙදර ඤණසීහ ස්ථවිරපාදයන් වහන්සේ ,

3  පණ්ඩිත , මහාචාර්‍ය්‍ය හේන්පිටගෙදර ඤණාවාස ස්ථවිරපාදයන් වහන්සේ ,